Header Ads



ගරු කැබිනට් ඇමති උදය ගම්මන්පිල මැතිතුමාට විවෘත සංදේශයයි...


2021/01/08 යන දින පාර්ලිමේන්තුවේ දී ඔබතුමා විසින් ඉදිරිපත් කරනු ලැබූ ඉස්ලාම් ආගමික ප්‍රශ්නයක් පිළිබඳ...

ප්‍රථමයෙන් ගරු ඇමතිතුමනි! දෙවතාවක් පරිශුද්ධ වූ අල් කුර්ආනය අධ්‍යනය කිරීම පිළිබඳව ඔබතුමාට මාගේ ගෞරවය පුද කිරීමට කැමැත්තෙමි. මෙය අනෙකුත් මැති ඇමතිවරුන්ට ආදර්ශයක් වනු ඇතැයි සිතන්නෙමි.

පරිශුද්ධ වූ අල් කුර්ආනය මෙලෙස දෙවතාවක් අධ්‍යයනය කළ ඔබ; මුස්ලිම්වරුන්ගේ ආගමික මූලාශ්‍රය පරිශුද්ධ වු අල් කුර්අානය පමණක් නොව, උතුම් වූ අපගේ නායක මුහම්මද් තුමාගේ (එතුමාට සාන්තිය හා සමාදානය අත් වේවා!) නිත්‍ය දේශන අන්තර්ගත වූ හදීස් ග්‍රන්ථ ද යන්න නොදැන සිටීම කණගාටුවට කරුණකි. නමුත් තවමත් ඔබ ප්‍රමාද නොවන බැවින් හදීස් ග්‍රන්ථ ද අධ්‍යයනය කිරීමට ඉදිරිපත් වන ලෙස ඉතා ගෞරවයෙන් ආරාධනා කරමි. එසේ කරන්නේ නම්; නියත වශයෙන්ම මරණයට පත්වන පුද්ගලයකුගේ දේහය භූමදානය කිරීම නොකර, ආදාහනය කිරීම; ඉස්ලාමය තුළ එම දේහයට ලබාදෙන ඉතාමත්ම පහත් සැලකීම යැයි සැලකෙන අතර, එය හරාම් හෙවත් අයුතු කාර්යයක් ලෙසින් ලෝකවාසී සියලුම මුස්ලිම් ජනතාව එකහෙළා පිළිගන්නා බව මනාව අවබෝධ කරගැනීමට ඔබට හැකි වනු ඇත. 

යම් මුස්ලිම් පුද්ගලයෙකු මරණයට පත් වී, ඔහුගේ අවසන් කටයුතු කිරීමේදී; ස්නානය කරවීම, වස්ත්‍රයක් ඇන්ඳවීම, ජනාසා නැමදුම කිරීම හා භූමදානය කිරීම යන සමාජීය වගකීම් හතර ඉටුකිරීම මුස්ලිම්වරුන්ට අනිවාර්ය වූ කරුණක් වේ. මෙය නබි තුමාගේ (එතුමාට ශාන්තිය හා සමාදානය අත් වේවා!) ප්‍රායෝගික ජීවිතයෙන් සහ සෘජු උපදෙස් මගින්  සනාථ වූ ආගමික අංගයකි. 

මුස්ලිම්වරුන්ගේ ආධ්‍යාත්මික නායකයාණන් වන මුහම්මද් තුමාගේ (එතුමාට ශාන්තිය හා සමාදානය අත් වේවා!) ප්‍රායෝගික ජීවිතයෙන් හා එතුමාගේ සෘජු උපදෙස් මගින් සනාථ වූ සියල්ල ඉස්ලාම් ධර්මය වන බැවින් එය පිළිපැදීම මුස්ලිම්වරුන්ගේ ආගමික වගකීමක් යන්න ඔබගේ කුර්ආනීය අධ්‍යනයේ දී මගහැරීම පුදුමයට කරුණකි. මන්දයත් නබි නායක තුමාගේ සියලු ආගමික ඉගැන්වීම් පිළිපැදීමේ අවශ්‍යතාවය හඟවන කුර්ආනීය වැකි පරිශුද්ධ වූ අල් කුර්ආනයේ පිටුවෙන් පිටුවට තිබෙන බැවිනි. 

වර්තමානයේ පවතින කොවිඩ් වසංගතය හේතුකොටගෙන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව දැනටමත් විවිධාකාර ලෙසින් කැපකිරීම් කර ඇති බවට ඔබතුමාට මතක් කර යුතු යැයි සිතමි. විශේෂයෙන් පස්වේල් නැමදුම්, සිකුරාදා දේවමෙහෙය, රමසාන් කාලයේ පවත්වන්නා වූ රාත්‍රී දේවමෙහෙයන් හා සියලුම ආකාරයේ සාමූහික ආගමික වත්පිළිවෙත් (අනෙකුත් ආගමිකයන් සේම) මුස්ලිම් ජනතාව ද කැප කිරීමට ලක් කර ඇත. මෙසේ කැප කිරීමට හේතු වී ඇත්තේ සමාජයේ එකිනෙකා අතර සහසම්බන්ධතාවය තුළින් මෙම වෛරසයේ ව්‍යාප්තය ට අවස්ථාව වැඩි බව සෞඛ්‍ය විද්‍යාත්මකව ස්ථිර වූ නිගමනයක් ඇති බැවිනි. එලෙසම මෘතදේහයක් ස්නානය කරවීමේදී ද; ඒ සඳහා සහභාගි වන උදවියට මෙම වෛරසය විවෘත විය හැකි අවදානම විද්‍යාත්මකව තහවුරු වී ඇති බැවින් එවන් ඉල්ලීමකට කිසිවිටෙක මුස්ලිම් ප්‍රජාව ඉදිරිපත් නොවනු ඇත. නමුත් භූමදානය යන මාතෘකාව ගත් කළ, එය කිසිසේත්ම සෞඛ්‍ය විද්‍යාත්මක පදනමකින් ජීවත් වන අනෙකුත් අයට හානියක් නොවන බව තහවුරු වී හමාරය. අප මේ ඉල්ලීම කරන්නේ එවන් පසුබිමකයි යන්න ඔබට මතක් කරන්න කැමැත්තෙමි.

කෙසේ වෙතත් ආදාහනය හලාල් ( කැප) ද? හරාම් (අකැප) ද? යැයි සෙවීමට වඩා; මෙහිදී ඔබ ප්‍රමුඛ රජය; විද්‍යාත්මක පදනමකින් ද තීන්දු තීරණ  ලබා දෙන්නේ යැයි ඔබ සොයා බැලීම අත්‍යවශ්‍යයි. භූමදානය ආගමික අයිතියක් පමණක් නොව, එය මානුෂ්‍ය අයිතියක්. එම මානුෂ්‍ය අයිතිය ලබා දිය යුතුයි යන්න ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ වෛරස විද්‍යාඥයෝ, මහාචාර්යවරු නිර්දේශ කිරීමෙන් පසුවත්, යම් හෝ පටු අරමුණු වෙනුවෙන් ජාතිවාදී ස්වරූපයකින්  පදනම් විරහිත අමානුෂික තීන්දු තීරණ ගැනීමට පෙළඹී සිටීම ඉතාමත් කණගාටුදායක කරුණක් මෙන්ම, රටක් හැටියට අපගේ ශ්‍රී ලාංකික සාරධර්මවලට සම්පූර්ණයෙන්ම පටහැනිය.

කොවිඩ් ආසාදනය වී මරණයට පත් වන පුද්ගලයන්ගේ දේහ, භූමිදානය කිරීමට අවසර ලබා දෙනු! යැයි අප රටේ සතර දිශාවෙන්ම ඇසෙන දෝංකාරය; මුස්ලිම් ප්‍රජාවගේ පමණක් නොව, අනෙකුත් ආගම් නියෝජනය කරන්නන් ද ඒ වෙනුවෙන් බැඳී සිටින බව ඔබට මතක් කර දෙන්න කැමැත්තෙමි. මොවුන්ට යුක්තිය සාධාරණය ඉටු කිරීම සඳහා පෙනී සිටින ආගමික නායකයන්, පක්ෂ, විපක්ෂ මැති ඇමතිවරුන් හා සියලුම සිවිල් සංවිධාන නියෝජිතයන්ට මාගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරන අතර එම ප්‍රණාමය හිමි වන ගොන්නට ඔබතුමා ද ඉක්මනින් එකතුවී, මේ සාධාරණ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි මා ඉතාමත්ම ආශාවෙන් බලාපොරොත්තු වෙමි. 

මෙම කොරෝනා උවදුරෙන් ශ්‍රී ලංකාවාසීන් ඇතුළු ලෝකයේ සියළුම දෙනාම ආරක්ෂා වීමට වගේම, අපගේ මාතෘභූමිය වන ශ්‍රී ලංකාව ඉතා දියුණු, සාමකාමී හා සියලුම දෙනා එකමුතුවෙන් ජීවත්වන සෞභාග්‍යයමත් රටක් වේවා! යැයි ප්‍රාර්ථනා කරමි.

මෞලවි M.N.M. නස්රීන් ෆත්තාහි,

අකුරණ,

2021/01/09.

2 comments:

  1. this bloody pig racist idiot is using and interpreting from their animal brain, definitely it will give harm to people

    ReplyDelete
  2. Admin!
    இந்த செய்தி சிங்களம் தெரிந்தவர்களுக்கு மட்டுமே போடப்பட்டதா?

    ReplyDelete

Powered by Blogger.