Header Ads



📍2017-09-26 වන දින ගල්කිස්ස ප්‍රදේශයේදී, මියන්මාර ජාතිකයන් පිරිසක් සම්බන්ධව ඇති වූ ගැටුම්කාරී තත්වය සම්බන්ධව කරනු ලබන සත්‍ය කරුණු දැක්වීම📍

1. ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර තත්වය
1.1 මෙම ප්‍රශ්නගත පුද්ගල කණ්ඩායම පුද්ගලයන් 32නෙකුගෙන් සමන්විත වන අතර එම පුද්ගලයන් මියන්මාර ජාතිකයන් 30නෙකුගෙන් සහ ඉන්දියානු ජාතිකයන් 02නෙකුගෙන් සමන්විත වේ.  ඒ අතර වැඩිහිටි පිරිමි 09 ක් ද වැඩිහිටි ගැහැණු 07 ක් ද, ගැහැණු ළමුන්  08ක්ද, පිරිමි ළමුන්  08ක්ද වේ.

1.2 මෙම මියන්මාර ජාතිකයන් පිරිස මියන්මාරයේ සිට ඉන්දියාවට පැමිණ ඉන්දියාවේ වසර 05කට ආසන්න කාලයක් වාසය කර ඇත.

1.3 එකී පිරිස ඉන්දියාවේ සරණාගතයන් ලෙස වාසය කර ඇති අතර ඒ සඳහා ඔවුන් වෙත ඉන්දියාවේ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් සරණාගත හැඳුනුම්පත් ද නිකුත් කර ඇත.

1.4 හදිසියේ වාර්තා වූ පුවතක් අනුව, ඉන්දියානු රජය විසින් ඔවුන් නැවතත් මියන්මාරය වෙත යවනු ඇතැයි යන බිය පදනම්කොට ගෙන එම මියන්මාර ජාතිකයන් පිරිස බෝට්ටුවකින් වෙනත් රටක් කරා පළා යාමට උත්සාහ කර ඇත.

1.5 ඒ සඳහා ඉන්දියානු ජාතිකයන් වෙත මුදල් ගෙවා ඇති බවට අනාවරණය වී ඇති අතර ඔවුන් සමග එසේ වෙනත් රටකට යාත්‍රා කිරීම සඳහා ඔවුන් යාත්‍රාවකින් ඉන්දියාවේ නාගපට්නම් වෙරළ තීරයෙන් පිටත්වී ඇත.

2. ශ්‍රී ලංකාවට පැමිණීම.

2.1 එසේ යාත්‍රා කරමින් සිටියදී ඔවුන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුල්වීම හේතුවෙන් අනවසර සංක්‍රමණ නිරීෂණ යටතේ ශ්‍රී ලංකා නාවික හමුදා වෙරළාරක්ෂක බලකා නිලධාරීන් විසින් 2017-04-30 වන දින තම භාරයට ගෙන කන්කසන්තුරය මූලස්ථාන පොලිසිය වෙත භාරදෙනු ලැබීය.

2.2 එකී අත්තඩංගුවට ගැනීමත් සමග ඒ බව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය දැනුවත් කරන ලද අතර එම කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම පිරිස ඉන්දියාවේ වාසය කළ මියන්මාර සරණාගතයින් බව තහවුරු කරන ලදී.

2.3 ඒ අනුව කන්කසන්තුරය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින්, 1948 අංක 20 දරණ ආගමන විගමන පනතේ 45 හා 45ඒ වගන්ති යටතේ චෝදනා ගොනු කරමින් අංක බී/372/17 යටතේ මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට එම පිරිස ඉදිරිපත් කරනු ලැබීය.

2.4 එහිදී ගරු මහේස්ත්‍රාත්තුමා විසින් මේ සම්බන්ධව නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා නියෝග කරන ලද අතර එතෙක් මියන්මාර ජාතිකයන් පිරිස මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා තබා ගැනීමටද, ඉන්දියානු ජාතිකයන් දෙදෙනා රිමාන්ඩ් භාරයේ තබා ගැනීමටද නියෝග කරනු ලැබීය.

2.5 ගරු නීතිපතිතුමා විසින් ලබා දුන් උපදෙස් අනුව, එකී මියන්මාර ජාතිකයන් ඉන්දියාවේ සරණාගතයන් බව තහවුරු වී තිබීම හේතුවෙන් ඔවුන් එරෙහිව 1948 අංක 20 දරණ ආගමන විගමන පනතේ 45 හා 45ඒ වගන්ති යටතේ නඩු කටයුතු පවත්වාගෙන යාමක් සිදු නොකරන ලෙස උපදෙස් ලබා දී තිබූ අතර ඒ අනුව එකී මියන්මාර ජාතියන් 30දෙනා සහ ඔවුන්ගෙන් අයෙකුට මෙරටදී උපත ලද දරුවා යන 31දෙනා මෙකී නඩුවෙන් මුදා හැර, ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම(UNHCR) වෙත භාර දීමට නියෝග කරනු ලැබීය. එසේම ඉන්දියානු ජාතිකයන් දෙදෙනා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබීය.

2.6  ඒ අනුව මියන්මාර ජාතිකයන් සියළු දෙනා, UNHCR ආයතනයේ මැදිහත්වීම මත නැවත රටින් පිටත් කර හරින තුරු මිරිහාන රැඳවුම් කඳවුරේම රඳවා තබා ගැනීමට කටයුතු කරන ලදී.

3. මිරිහාන කඳවුරේ සිට ගල්කිස්සට පිරිස මාරු කිරීම.

3.1 මෙසේ එම පිරිස රඳවා සිටියදී එම පිරිස අතුරින් එක් තරුණියක් එම කඳවුරේම නිලධාරියෙකු විසින් දූෂණයට ලක් කරන ලද අතර ඒ සම්බන්ධව B/2030/17 අංක දරන නඩුව ගංගොඩවිල ගරු මහේස්ත්‍රාත් අධිකරණයේදී මේ වන විටත් විභාග වෙමින් පවතී.

3.2 එම අනාරක්ෂිත තත්වය සැලකිල්ලට ගනිමින් එම පිරිස භාරව කටයුතු කරනු ලබන UNHCR කාර්යාලය විසින්, අවශ්‍ය අධිකරණ අවසරයද සහිතව පොලිස් ආරක්ෂාව යටතේ තාවකාලික පදනමින් එම මියන්මාර ජාතිකයන් පිරිස ගල්කිස්ස ප්‍රදේශයේ කුලී නිවසක රඳවා තැබීමට කටයුතු කරන ලදී.

3.3 ඒ සම්බන්ධයෙන් පොලිසිය හා අදාළ සියළු ආයතන යථා පරිදි දැනුවත් කර මෙම තාවකාලික වාසස්ථාන ලබා දීම සිදු කරනු ලැබීය.

4. මියන්මාර සරණාගතයන් මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණ තිබේද?

4.1 අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ඩී.ස්වර්ණපාල මහතාගේ අත්සනින් යුතුව 2017/09/18 වන දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය අනුව මියන්මාර සරණාගතයන් මින් පෙර ලංකාවට පැමිණ ඇති ආකාරය සහ ඔවුන් සම්බන්ධව කටයුතු කරනු ලැබ ඇති ආකාරය සවිස්තරව දක්වා සිටී.

4.2 ඒ අනුව පුද්ගලයන් 55 දෙනෙකුගෙන් යුක්ත මියන්මාර ජාතිකයන් පිරිසක් 2008-03-03 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අත්තඩංගුවට ගෙන ඇති අතර ඔවුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම(UNHCR) වෙත භාර දීමෙන් අනතුරුව 2012 ජූලි මස වන විට ඔවුන් සියළු දෙනාම ශ්‍රී ලංකාවෙන් පිටත් කොට යවා ඇත.

4.3 2013 පෙබරවාරියේදී යළිත් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පුද්ගලයන් 170කින් යුත් මියන්මාර ජාතිකයන් පිරිසක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අත්තඩංගුවට ගෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම(UNHCR) වෙත භාර දෙන ලද අතර 2015 නොවැම්බර් මස වන විට ඔවුන් සියළු දෙනාද රටින් පිටත් කොට යවා ඇත.

4.4 විශේෂයෙන් එම මාධ්‍ය නිවේදනයේ සඳහන් පරිදි ශ්‍රී ලංකා රජය විසින් මෙම සරණාගත පිරිස සම්බන්ධව කටයුතු කිරීමේදී නියමිත නෛතික රාමුව මත සිටිමින් කටයුතු කරනු ලැබ ඇති අතර, පූර්ව ක්‍රියාපිළිවෙත් අනුවම යමින් එම පිරිස සම්බන්ධයෙන්ද කටයුතු කිරීමට අවශ්‍ය සියළු ක්‍රියාමාර්ග ගනු ලබන බව තහවුරු කර ඇත.

4.5 ඒ අනුව මෙම ප්‍රශ්නගත 31නෙකුගෙන් යුතු මියන්මාර සරණාගත පිරිසද දිවයි‍නෙන් පිටත්කොට හැරීමට අවශ්‍ය සියළු සාකච්ඡා සිදු කර ඔවුන් පිටත් කර හැරීමට තිබියදී මෙම අවාසනාවන්ත තත්වය යම් පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමකගේ නොමග යවනසුළු පෙළඹවීමක් මත ඇතිවන ලදී.

5. 2017/09/26 වන දින සිදු වූ සිදුවීම

5.1 නෛතික තත්වය ඉහත පරිදි තිබියදී, යම් අන්තවාදී කණ්ඩායමක් විසින් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ සහ වෙනත් විවිධ මාධ්‍යන් ඔස්සේ මෙම මියන්මාර වැසියන් පිළිබඳ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමට කටයුතු කර තිබුණි.

5.2 ඒ අනුව එම පුද්ගයන්ගේ හෝ කණ්ඩායම් වල මෙහෙයවීම මත නොමග යාම හේතුවෙන් නිසි කරුණු දැන ගැනීමකින් හෝ ඒ පිළිබඳ නිසි විභාගයකින් තොරව රැස්වූ පිරිසක් අදාළ මියන්මාර වැසියන් රඳවා සිටි වාසස්ථානය වට කරමින් විරෝධය දැක්වූ අතර එම සරණාගත වැසියන්ගේ ආරක්ෂාව උදෙසා පොලිසිය විසින් ඔවුන් පොලිස් භාරයට ගෙන පොලිසිය වෙත ගෙන යන ලදී.

5.3 කෙසේ වෙතත් නැවතත් එම ස්ථානයේ අදාළ පුද්ගලයන්ට වාසස්ථාන සැපයීම සම්බන්ධව එල්ලවූ දැඩි ප්‍රකෝපකාරී විරෝධය මත ඔවුන්ගේ ආරක්ෂාව සඳහා එම පිරිස බූස්ස රැඳවුම් කඳවුර වෙත ගෙන යන ලදී.

5.4 කෙසේ වෙතත් මෙම තත්වය පවත්නා කරුණු වෙනස්කොට, තම පටු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා යම් කණ්ඩායමක් විසින් ප්‍රචාරය කරන ලද අසත්‍ය තොරතුරු මත පදනම්ව අනවබෝධය හේතුවෙන් ඇතිවූ තත්වයක් බව අවධාරණාත්මකව ප්‍රකාශ කර සිටී.

6. පසු සටහන

ශ්‍රී ලංකාව දශක 03කට ආසන්න යුද්ධයකින් පීඩා විඳ, ක්‍රමයෙන් ස්ථාවර රටක් ලෙස ගොඩනැගෙමින් පැවතියදී, රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණ විවිධ මුහුණුවරින් ඇති විය හැකිය. විශේෂයෙන් සහෝදරාත්මකව සහජීවනයෙන් යුතුව ජීවත් වන බෞද්ධ සහ මුස්ලිම් ජනතාව අතර, එම දෙකොට්ඨාශයටම අයත්, සුළුතරයක් වන අන්තවාදී මතවාද දරන පුද්ගලයන් විසින් සංවිධානාත්මකව සිදුකරනු ලබන මෙවැනි නොමග යැවීම් හඳුනා ගැනීම ඉතා වැදගත්ය.
අන්තවාදී මත දරමින් ආගමික හා වාර්ගික අර්බුධයක් රට තුළ නිර්මාණය කිරීමේ අරමුණින් කටයුතු කරන, විශේෂයෙන් ඒවායේ මූලිකත්වය ගන්නා පුද්ගලයන්ට එරෙහිව දිවයින පුරා විවිධ අධිකරණ වල නඩු රැසක් විභාග වෙමින් පැවතියදී, එම ගරු අධිකරණ මගින් ලබා දෙන නියෝග ගරු නොකරමින් අධිකරණයටද අපහාස වන අයුරින් රට තුළ විශාල අර්බුධයක් මවා පෑමට කටයුතු කරන එම පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධව දැනුවත්භාවයෙන් යුතුව අවධානයෙන් සිටීම සහ ඊට එරෙහිව පියවර ගැනීම සැබෑ ශ්‍රී ලංකිකයින් සතු යුතුකමක් සේම වගකීමකි.
ඒ අනුව අවසාන වශයෙන් ප්‍රකාශ කර සිටිනුයේ මෙම මියන්මාර ජාතික පිරිස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ(UNHRC) සෘජු මැදිහත්වී මත තාවකාලිකව ශ්‍රී ලංකාවේ රඳවා සිටින පුද්ගලයින් කණ්ඩායමක් බවත්, ඉතා ඉක්මනින් නිසි නෛතික පටිපාටිය අනුව ඔවුන් රටෙන් පිටත් කර හැරීමට කටයුතු සිදු කරමින් පවතින බවත්ය. 

මියන්මාර සරණාගතයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ෂයිනාස් මොහොමඩ්

No comments

Powered by Blogger.