Header Ads



அநீத்தா பத்திரிகை ஹிஜாஸ் ஹிஸ்புல்லாஹ் விவகாரம், குறித்து வெளியிட்டுள்ள தகவல்

නීතිඥවරුන් හමුවීමට දුන්නේ විනාඩි 10යි

නීතිඥ අයිතීන් ගැන නීතිඥ සංගමය නිශ්ශබ්දයි

නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීමත් රඳවා තැබීමත් නීති විරෝධී බව පවසමින් ඔහු වෙනුවෙන් අභියාචනාධිකරණය ඉදිරියේ ගොනුකර ඇති හේබියස් කෝපුස් පෙත්සම් විභාගය ආරම්භ වන විට, එම පෙත්සම විභාග කරන විනිසුරුවරියන්ට, අභියාචනාධිකරණයේ සභාපතිවරයාට මෙන්ම පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටින කීර්තිමත් නීතිඥවරුන්ට බොරු චෝදනා එල්ල කරමින්, ඔවුන් බිය ගැන්වීමේ හා අපකීර්තියට පත්කිරීමේ ජාතිවාදී ස්වරූපයක් ගත්, සැලසුම්සහගත ප‍්‍රචාරක ව්‍යාපාරයක් දියත් කරමින් තිබේ.

අපේ‍්‍රල් මාසයේ අවසානයේ එම පෙත්සම අභියාචනාධිකරණය ඉදිරියේ මුලින්ම සලකා බලන්නට නියමිතව තිබූ අවස්ථාවේ වෙබ් අඩවි කිහිපයක් හා සමාජ මාධ්‍ය භාවිත කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා මෙන්ම පෙත්සම විභාගකළ විනිසුරුවරියන් දෙදෙනාද, නීතිඥවරුන්ද ඉලක්ක කළ අභූත චෝදනා නගා තිබිණ.

නීතිපතිවරයාට නොතීසි නිකුත් නොකර මෙම පත්සම විභාග කිරීමට සූදානම් වන බව එවැනි එක් අභූත චෝදනාවකි. නීතිපතිවරයාට නොදන්වා හොරෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු දිලිප් නවාස්, හිස්බුල්ලා මහතා නිදහස් කරන්නට සූදානම් වන බව එහි අනෙක් සඳහනය. මේ සියල්ල ‘බළල් අතක’ මැදිහත්වීමෙන් සිදුවන බවද ඒවායේ වාර්තා කර තිබිණ. කොරෝනා වසංගතය නිසා උසාවි සියල්ල වසා තිබියදී, අභියාචනාධිකරණය විශේෂයෙන් රැස්වී පෙත්සම ගැන විමසීම පිටුපස එම බළල් අත ක‍්‍රියාත්මක වන බවද එම වාර්තාවල අඩංගු විය.

භයානකම චෝදනාව වන්නේ අභියාචනාධිකරණ සභාපතිවරයාට, එම නිදහස් කිරීම වෙනුවෙන් ලක්‍ෂ 50ක මුදලක් ලබාදී ඇති බවයි. ඒ මුදල ලබාදීමට මැදිහත්කරු හැටියට ජනාධිපති නීතිඥ ඉක‍්‍රම් කටයුතු කර ඇති බවයි. රටේ කීර්තිමත් නීතිඥවරයකු වන ජනාධිපති නීතිඥ ඉක‍්‍රම් මොහොමඞ් මහතා මේ හේබියස් කෝපුස් පෙත්සම්වල පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටින නීතිඥයන් දෙපළගෙන් කෙනෙකි. අනෙක් නීතිඥවරයා ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ය.

ඊට අමතරව, පෙත්සම විභාග කළ විනිසුරුවරියන් දෙදෙනා වන කුමුුදුනි වික‍්‍රමසිංහ හා දේවිකා අබේරත්න මහත්මීන්ට රුපියල් මිලියන තුන බැගින් මුදල් ලබාදී ඇති බවද එම චෝදනාවල සඳහන්ය.

වසංගතය නිසා උසාවි වසා තිබියදී, අභියාචනාධිකරණ සභාපති විනිසුරු නවාස්ට මුදල් දී පෙත්සම විභාගකිරීමට දිනයක් විශේෂයෙන් නියම කරගත්තේයැයි කියන චෝදනාව අමූලික බොරුවකි.

අපේ‍්‍රල් 14 වැනිදා අත්අඩංගුවට ගෙන රඳවා ගැනුණු නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන්, අපේ‍්‍රල් 15 වැනිදාම හේබියස් කෝපුස් පෙත්සම් ගොනුකරනු ලැබිණ. එම පෙත්සම් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට අපේ‍්‍රල් 21 දිනය ලබාදෙන ලෙස පෙත්සම්කරුවෝ ඉල්ලා සිටියහ. එහෙත්, අධිකරණ වසා තිබුණු නිසා එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කෙරිණ. ඉන්පසු 27 වැනිදා ඉල්ලා සිටින ලදි. එදිනද ලබාදුන්නේ නැත. ඒ අතර, හදිසි කාරණා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය ඉදිරියේ කරුණු දැක්වීමට විධිවිධාන යොදා ඇති බව චක‍්‍රලේඛයක් නිකුත්වූ අතර, ඒ අනුව යළිත් කරන ලද ඉල්ලීම සලකා බලා, පෙත්සම විභාග කිරීමට අපේ‍්‍රල් 30 වැනිදා නියම කෙරිණි. සභාපති විනිසුරු නවාස් මහතා එම පෙත්සම විභාගයට සහභාගි නොවුණ අතර, කුමුදුනි වික‍්‍රමසිංහ හා දේවිකා අබේරත්න යන විනිසුරුවරියෝ පෙත්සම විමසීම සිදුකළහ.

එදින පෙත්සම්වල වගඋත්තරකරුවකු වූ නීතිපතිවරයා පෙනීනොසිටි අතර, ඒ ඔහුට දැනුම් නොදුන් නිසා නොවේ.  අවස්ථා කිහිපයකදීම, ආකාර කිහිපයකින්ම නීතිපතිවරයාට ඒ වන විට දැන්වීම් කර තිබුණු බව, පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ඉක‍්‍රම් මොහොමඞ් හා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණයට කියා සිටියෝය. ඔවුන් කියා සිටියේ අතින් ගෙනගොස් බාරදීමෙන් මෙන්ම ඊමේල් මාර්ගයෙන්ද නීතිපතිවරයාට දැන්වීම් දුන් බවයි. නැවතත් නීතිපතිවරයාට දන්වා, පෙත්සම මැයි 5 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කෙළේය. එහෙත්, මැයි 5 වැනිදාද පෙත්සම් විභාගයට ගන්නේ නැතැයි පෙත්සම්කරුවන්ට මේ වන විට දන්වා තිබේ.

මුදල් ලබාගෙන පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවකු නිදහස් කිරීමට පියවර ගන්නා බවට විනිසුරුවරුන්ට වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය හරහා මේ ආකාරයෙන් අභූත චෝදනා එල්ල කිරීමෙන් අභියාචනාධිකරණ විනිසුරුවරුන්/වරියන් මෙම පෙත්සම විභාග කිරීමට බියක් හා අකමැත්තක් දක්වන තත්වයක් ඇතිකිරීම මෙම සැලසුම්සහගත වැඩපිළිවෙළේ අරමුණ බව පෙනේ. ඒ හරහා තවදුරටත් නීතිඥ හිස්බුල්ලා මහතා අත්අඩංගුවේ තබාගැනීම අපේක්‍ෂාව වන්නට පිළිවන.

නීතිඥවරුන්ට විනාඩි 10යි

මේ අතර, නීතිඥ හිස්බුල්ලා මහතා හමුවීමට ඔහුගේ නීතිඥවරුන්ට මේ වන තෙක්ම, අවස්ථා තුනකදී පමණක් අවකාශය ලැබුණු අතර, ඒ සෑම අවස්ථාවකදීම ඔහු සමග කතාකිරීමට නීතිඥවරුන්ට අවසර ලැබුණේ විනාඩි 10ක් බැගින් පමණක් විය. එලෙස අවස්ථාව දුන් අපේ‍්‍රල් 15 සහ 16 දිනවල, හිස්බුල්ලා මහතා සමග නීතිඥවරුන් කතාකරන විට පොලිස් නිලධාරියෙක්ද පසෙකින් සිටියේය. කතාබහ සිංහලෙන් පමණක් කරන ලෙසද හිස්බුල්ලා මහතාට සහ නීතිඥවරුන්ට දන්වන ලදි.

ඉන්පසු දින 12ක කාලයක් යන තුරු, ඉල්ලීම් කළද නීතිඥවරුන්ට හිස්බුල්ලා මහතා හමුවීමට අවස්ථාව නොදුන් අතර, අවස්ථාව දෙන බව කියා නීතිඥවරුන් කැඳවූ සමහර අවස්ථාවල කතාකළ හැකිවෙතැයි දිගු වේලාවක් බලාසිට අවස්ථාවක් නොලබා නැවත හැරී එන්නට නීතිඥවරුන්ට සිදුවූ බවද දැනගන්නට තිබේ.

අපේ‍්‍රල් 28 වැනිදා අවසන් වරට ඔහු සමග කතාකරන්නට නීතිඥවරුන්ට අවස්ථාව ලැබුණේද විනාඩි 10ක් පමණකි. ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් තිදෙනකු ඉදිරියේ කතාකරන්නට සිදුවී අතර, ඉංග‍්‍රීසි භාෂාව යොදාගන්නට අවසර තිබුණි. එම විනාඩි 10න් විනාඩි 2ක් පමණ පොලිස් නිලධාරීන් කතාකළ බවත්, නීතිඥවරුන්ට හිස්බුල්ලා මහතා සමග කතාකිරීමට ඉඩ ලැබුණේ විනාඩි 8ක් පමණක් බවත් දැනගන්නට ලැබේ.

නඩුවේ කරුණු කතාකරන්න බෑ
එහෙත්, මේ එකම අවස්ථාවකදීවත්, නඩුවේ කරුණු ගැන කතා කිරීමට අවස්ථාවක් දුන්නේ නැත.

මේ ආකාරයට හිස්බුල්ලා මහතාට නීතියෙන් හිමිව ඇති, තම නීතිඥවරුන් හමුවී අවශ්‍ය උපදෙස් දීමේ අයිතිවාසිකම දිගින් දිගටම කඩකෙරෙන අතර, තම සේවාදායකයන් හමුවී නඩුවට උපදෙස් ගැනීමට නීතිඥවරුන්ට තිබෙන වෘත්තීය අයිතිවාසිකමටද ඉන් බලවත් බලපෑමක් එල්ලවී තිබේ. විනාඩි 10ක කාලයක් තුළ, පොලිස් නිලධාරියකු ඉදිරියේ නඩුවක කරුණු කතාකිරීමට නියම කිරීම, නීතිඥවරයකුගේ වෘත්තීය අයිතිවාසිකම් කඩකිරීමකි.
නීතිඥ සංගමය නිහඬයි

තම සාමාජික නීතිඥවරුන්ගේ අයිතිවාසිකම් මෙලෙස කඩවීම ගැන තවමත් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය නිසි මැදිහත්වීමක් කළ බවක් දැනගන්නට නැත.

අරුණ ජයවර්ධන

No comments

Powered by Blogger.